නත්තල් කුනාටු

“විසි තුන ඉරිදා. ඒ නිසා විසි දෙවෙනිදා රෑට පිරිතටයි විසි තුන දානෙටයි පංසලට දැන්මම කියන එක හොඳයි නේද?”

දෙසැම්බර් අග අපෙ ගෙදර තියෙන දානෙට කමලා ලෑස්තිවෙන්න පටන් ගන්නේ මාස කීපෙකට කලින්. මේ දවස්වල එහෙම නැතුව වරු පිරිතකට දානෙකට වුනත් භික්ෂූන් සොයාගන්න අමාරුයි. මුලු අවුරුද්දටම ගෙදර කෙරෙන එකම පින්කම නිසා ඒක කිසිම අඩුපාඩුවක් නැතුව කරන්නයි කමලා උත්සාහ කරන්නේ. කමලගෙ තාත්තත් මගෙ අම්මත් අප්පචිත් වෙනුවෙන් කෙරෙන මේ පින්කම අපි මහනුවරට ආපු අවුරුද්දෙයි පටන් ගත්තේ - ඒ දැන් අවුරුදු විස්සකටත් ඉස්සර. හැම අවුරුද්දෙම මගෙ මාමයි නැන්දයි වගේම කමලගෙ අම්මත් මේ පින්කමට සහභාගිවුනා. මේ අවුරුද්දේ සුනිල් අයියත් මගෙ නංගී සුසිලා එන නිසා වෙන අවුරුදුවලටත් වැඩිය සැලකිල්ලෙන් සූදානම් වෙන්න අපි තීරනේ කලා. අබේ මාමගෙ ලොකුපුතා, සුනිල් අයියා, පිරිතට/දානෙට අපෙ ගෙදර එන පලවෙනි සැරේ මේක; මගෙ නංගීනම් අවුරුදු දෙකකට සෑරයක්වත් එනවා.

“හැබැයි මේ අවුරුද්දේ මම ගිහින් මාමයි නැන්දයි ඔයාගෙ අම්මයි එක්ක එනවා - ගිය අවුරුද්දේ වගේ මරිකමක් කරගන්න නොදී”

“ඇත්තටම ඒකනම් හොඳයි තමා - හැබැයි මාමලා කැමතිවෙයිද දන්නෙනෑ”

“තව කල් තියෙනවානේ - මං කතා කරලා බලන්නං”

පහුගිය අවුරුද්දේ පිරිතට මාමට එන්න බැරිවුනා ගමේ ඉස්කෝලේ හිටපු ගුරුවරයෙක් හැටියට ගුරු දෙගුරු රැස්වීමකට ආරධනයක් තිබුන නිසා. නැන්දා ගෙදර ගුනපාල කොල්ලත් එක්ක පිරිතට එන්න පිටත් කරලා මාමා රැස්වීමට ගිහින් තියෙන්නේ. ඒත් පහුවදා දානෙට එන්න පොරොන්දු වෙලයි.

හවස හය හමාර වෙනකමුත් නැන්දා ආවෙ නැති නිසා මම මාමට ටෙලිෆෝන් කරා, නැන්දා පිටත්වුනේ කීයට විතරද කියලා අහගන්න. මම කැමතිවුනේ නෑ මාමවත් අපෙගෙදර අයවත් කලබල කරවන්න. මාමා තවම රැස්වීමේ නිසා ඊලඟට මගෙ ඉස්කෝලේ වෙන ගුරුවරයෙක්ගෙ මෝබයිල් එකට කතා කරා. විජේසිංහ මගෙ පරන යාළුවෙක් - එයත් ඒ රැස්වීමෙම ඇති කියලා මට හිතුනා. විජේසිංහගෙ ෆෝන් එකෙන් මම මාමගෙන් ඇහුවා නැන්දා පිටත්වුනේ කීයටද කියලා.

“මම එයා ගුනපාලත් එක්ක හතරේ බස් එකට දාලා තමා විජේසිංහලගෙ ගෙදර ආවේ, එයත් එක්කම මීටිමට යන්ට - තවම නැත්තම් බස් එක වත් කැඩිලද දන්නෙ නෑ”

“ඒක තමා මාත් හිතුවේ - ගුනපාලත් එක්ක ඉන්න හින්දා ත්රීවීල් එකක වත් එයි”

“හ්ම්… පුතා මට කොල් එකක් දෙන්ට ආහම…”

“හා… මීටිම කීයට ඉවරවෙයිද?”

“තව වැඩි වෙලාවක් නෑ - කොහොමටත් මම තව පැය බාගෙකින් ගෙදර”

හාමුදුවෝ වඩම්මවන්ටත් වෙලාව කිට්ටුයි… නැන්දා තවම නෑ.

“පොලිසියට කතා කරන්ට වෙයිද?”

කමලා හොඳටම බය වෙලා. නමුත් වෙන කාටවත් දැනෙන හැටියට හැසුරුනේ නෑ; අපෙ ළමයි දෙන්නා ඇරුනුකොට.

“අප්පච්චී පොලිසියට කෝල් එකක් දෙන්න…. මම අර සිරිල්ගෙන් අහන්නම් ඉස්පිරිතාල පැත්තේ හොයලා බලන්න කියලා”

ඒ පුතා නිලංත. හාමුදුරුවෝ වැඩමවන්නත් එයා යාළුවෙකුට බාරදීලා. දුවත් අත්තම්මත් එක්ක අම්මගෙ වැඩ කටයුතුත් කෙරුවේ කමලටයි මටයි තිබුන බර පුළුවන් තරම් අඩුකරන්නයි. අපේ හිතේ තිබුන බය පිටට නොපෙන්වන්න අපි වගබලාගත්තත් වැඩි වෙලාවක් යන්න ඉස්සර මාමටත් පිරිතට ඇවිත් හිටි අයටයි කරදරේ ගැන දන්වන්න වෙනබව මට පැහැදිලියි. මම පොලිසියට කතා කරලා ඒකෙන් කිසි අනතුරක ආරංචියක් නැතිබව දැනගෙන මාමට කතා කරන්න ටෙලිෆෝන් එක අතට ගත් වෙලාවෙයි නැන්දයි ගුනපාලයි ගෙට ගොඩවුනේ.

අපි බයවුනාට ඒ තරම් බයවෙන්න තරමේ දෙයක් වෙලා නෑ. නමුත් මෝබයිල් ෆෝන් එකක් අතේ නැතුව ගමනක් පිටත් වෙන කෙනෙක් ඉන්න තැනක් හොයලා බලන එක ලේසි නෑ. පැය එක හමාරක් යන අනික ගමනට පැය තුනක් යනකොට මොනවාහරි වෙලා කියලා හිතන එක පුදුමයක් නෙවෙයි. විශේෂයෙන්ම නැන්දා වගේ ඇස් පෙනීම ඒ තරම් හොඳ නැති, කලුවරේ බස් එකක බෝඩ් එකවත් කියවගන්න අමාරු කෙනෙක්. හොඳ වෙලාවට් ගුනපාල කොල්ලා හිටියේ.

වෙලා තියෙන්නේ මේකයි. නුවර ටවුමෙන් බැහැලා ලේවැල්ල බස් එකට නැගලා මගක් යනකොටයි දැනිලා තියෙන්නේ යන්නේ පුරුදු පාරේ නෙවෙයි කියලා. වැව අද්දරින් යන්න තිබුන බස් එක වැවවත් මාලිගාවවත් පෙනෙන පැත්තකින් නොගිය නිසා නැන්දට ටිකක් නොසන්සුන් ගතියක් දැනිලා. නමුත් එක සැරේම කාගෙන්වත් නොඅසා විනාඩි දහයක්ම ගිහින්. අංතිමට “බූවැලිකඩට තව දුරද?” කියන ප්රශ්නෙට ලඟ හිටපු මගියා කියා තියෙන්නේ “නෑ නෝනා - මේ බස් එක එහෙ යන්නෙ නෑ!” කියලා. වහාම බස් එකෙන් බැහලා දෙන්නා ආපහු පයින් මහනුවර ටවුමට ආවලු. ආයෙත් හරි බස් එකේ නැගලා එනකොටයි හොඳටම වෙලා ගියේ.

බස් එකේ කොන්දොස්තරගෙන් කෙලින්ම ඇහුවානම්, එහෙමත් නැත්නම් “ලේවැල්ලට තව දුරද?” කියලා ඇහුවනම් දැනගන්න තිබුනා නැගපු බස් එකත් ලේවැල්ලට යන බව - බූවැලිකඩ හරහා නැතුව අරුප්පොල හරහා. මේ බව අපි නැන්දට කිව්වෙවත් ඒ බව දැනෙන්න සැලසුවෙත් නෑ. ඇඟපත සෝදාගෙන තේ කෝප්පයක් බීමෙන් පස්සෙයි නැන්දා ආයෙත් සාමන්ය තත්ත්වෙට ආවේ. නමුත් අපි ඒ වෙලාවෙම හිතා ගත්තේ ආයෙනම් නැන්දා තනියම හරි ගුනපාල එක්ක හරි අපෙ ගෙදර එන්න ඉඩ නොදෙන්න.

……………..

මම මාමට ටෙලිෆෝන්කරේ පිරිතට සතියකට කලින්.

“හා මාමා. …”

“පුතා…. මොකොද උදේම?”

“නෑ …. මං මේ පිරිත ගැන කතා කරගන්නත් එක්ක කෝල් එක ගත්තේ…”

“හා ඔවු හැබෑට … මේ සෙනසුරාදා නේද පිරිත්?”

“ඔවු …. මං හිතුවේ සිකුරාදා හරි සෙනසුරාදා උදේ හරි ඇවිත් මාමලා එක්ක එන්න…”

“හඃ! ගිය අවුරුද්දේ කෙලි මතක්වෙලා වගේ!”

මටත් හිනා ගියා.

“ඒකම නෙවෙයි මාමා. දැන් අයියත් ඉන්න එකේ තුන්දෙනාම එක්ක එන්න පුළුවන් එක සැරේ…. කමලගෙ අම්මා දවස් කීපෙකට කලින් බස් එකේ එනවා”

“වැඩේ තියෙන්නේ පුතා අර වැස්සට හෝදාගෙන ගිය ලියදී කීපේ වැඩ කවදා ඉවරවෙයිද දන්නෙ නෑ… අනික මේ වැස්සත් තව දිගටම තිබුනොත් තව මොනවා මොනවා සෝදාපාළු වෙයිද කියන්ට බෑ”

“හ්ම්… බලමුකෝ මාමා. අයියා එනවා නේද?

“ලොක්කා ගාල්ලේ යනවා කිව්වා හෙට අනිද්දා. හැබැයි පිරිතට එනවා කිව්වා. අපි දෙන්නට බස් එකේ එන්ට බැරිකමක් නෑ පුතා”

“මං බ්රහස්පතින්දා දිහාට කෝල් එකක් දෙන්නං - එතකොට පුළුවන් බලාගන්න මාමගෙ වැඩ රාජකාරි කොහොමද කියලා… අයියට ටිකකට කතා කරන්න පුළුවන්ද?”

අයියගෙ වචනෙන්වත් මගෙ බ්රහස්පතින්දා දුරකතන ඇමතුමෙන්වත් මාමගෙ හිත වෙනස් කරගන්න බැරිවුනා. මාමයි නැන්දයි බස් එකේ එනබවත් සෙනසුරාදා දවල් වරුවෙන්ම පිටත්වෙන බවත් මාමා කිව්වා.

…………………….

ඒ සතියේ මුලු පලාතටම වැස්සෙන් කිසිම අඩුවක් නෑ. තද “නත්තල් කුනාටුව” ගැන අපි නිතරම කතාවුනා. සෙනසුරාදා උදේ මම ආයෙත් මාමට කතා කරා.

“කොහොමද වැස්සෙන් කරදරද?”

“අහන්ටවත් එපා පුතා! කුඹුරේ කෑල්ලක් විතරක් නෙවෙයි මහපාරෙත් ‘අපෙ’ බෝක්කුව හෝදාගෙන ගිහින්!”

මාමා ‘අපෙ’ බෝක්කුව කිව්වේ දුංගහ මුල බෝක්කුවට.

“වාහන යන්න බැරිවෙන තරමට?”

“ඔවු සම්පූර්නෙන්ම ගිහින් -මාස ගානක් යයි හදන්ට! හැබැයි බස් දුවනවා - එක බස් එකක් හතේ කනුවෙන් හරවලා ආපහු පහලට යනවා; තව එකක් උඩහ වංගුවෙන් හරවලා ආපහු උඩහට යනවා. හතේ කනුවේ ඉඳං වංගුවට තියෙන කිලෝමීටර් දෙක පයින්. එකක් කියන්නේ බෝක්කුව ගිය දවසට පස්සේ දවසේ ඉඳන් බස් වැඩ - වැඩට යන අයට දවසයි බස් නැතුව තිබුනේ. ඉස්කෝල නිවාඩු නිසා ඒ අතින් වැඩි කරදරයක් නෑ”

“එහෙනන් මං එන්නද උඩහ වංගුව ලඟට?”

“එපා එපා - අපිට මොකද්ද ඔය ටික පයින් යන එක?”

මම මොනවා කිව්වත් මාමා හිත වෙන කරේ නෑ.

සෙනසුරාදා දවල් කෑමට කමලගෙ අම්මත් කමලගෙ ඉස්කෝලේ යාළුවෙකුත් නිලංතගෙ විශ්වවිද්යාල යාළුවෝ දෙතුන් දෙනෙකුත් ඇරෙන්න පිටින් කවුරුත් හිටියෙ නෑ. සුනිල් අයියා ඊයෙ රෑ ගාල්ලෙන් කොළඹට ඇවිත් අද උදේ මගෙ නංගී මුන ගැහිලා ඒත් එක්ක හතර වෙනකොට නුවරට එයි කියලා ටෙලිෆෝන් කරලා කිව්වා. සමහරවිට මාමලත් ඒ වෙලාව වෙනකොට, නැත්තන් ඊටත් ඉස්සර එයි. පිරිත් අහන්න අවට ගෙවල් වලින් එන කීප දෙනෙක් ඇරුනුකොට වෙන කිසි කෙනෙක් අපි බලාපොරොත්තුවුනේ නෑ.

දෙකයි හතලිස්පහ වෙනකොට නැන්දා ආවා - හැබැයි මාමත් එක්ක නෙවෙයි; ආවේ ගුනපාලත් එක්ක.

“නැන්දා එන්න එන්න…කෝ මාමා? ටවුමේ නැවතුනාද?”

“නෑ දුව… අපි දෙන්නට දෙකේ බස් එකේ එන්ට කියලා එයා පහේ බස් එකේ එනවා කිව්වා… දන්නෙ නැද්ද අර කුඹුරේ වැඩ තව එක විදිහක් වුනේ නෑ නේ”

“බස් එකේ කරදරයක් නැ?”

මම මෙහෙම අහනකොට මගෙ දුව සිරිනී “ගියසැරේ වගේ” කියලා මුමුණැව්වා.

නැන්දට හිනා ගියා.

“ඇත්තටම දෙකේ බස් එක අල්ලගන්ට බැරිවුනා - කොහෙද මට හයියෙන් පයින් යන්ට පුළුවන්යෑ? ඊටත් ඒ කන්දේ? අනේ හැබැයි විනාඩි පහක්වත් ගියෙ නෑ මෙන්න වෑන් එකක් ආවා පහලින්! මං ලඟම නවත්තලා කිව්වා ‘නගිංට මැනිකේ’ කියලා. මට හරියට නිච්චි නෑ කවුද කියලා. හැබැයි අපි අපෙ ගමෙන් ආපු බස් එකටත් ඉස්සර කරලා ඇවිත් තුන්මං හංදියෙන් අපි බැස්සුවා. සල්ලි ගත්තෙත් නෑ. කොල්ලයි මමයි අපෙ බස් එකේම නැගලා ආවා කෙලින්ම!”

“ලේවැල්ල බස් එක කරදරයක් උනේ නෑ?”

“රිනී!” කමලා දුවට සැර කරා.

“ඔය පොඩි එවුන් දැන් නාකි අපිට විහිළු කරාට කල් යනකොට තේරෙයි ඒ අයටත්!”

නැන්දා මෙහෙම කියලා සිරිනිගෙ ඔලුව අත ගෑවා. දුව නැන්දගෙ අත අල්ලාගෙන කාමරේ පැත්තට එක්ක යන්න හැරුනා.

“එතකොට බෝක්කුව හදලද? වෑන් එක ආවේ?”

මම මෙහෙම ඇහුවේ අහෙන උත්තරෙන් මම සෑහීමකට පත් නොවෙනබව දැන දැනයි.

“අනේ මංදා කොහොම ආවද කියලා. මාමා ආපුවම අහගන්ටවෙයි”

…………………………

මාමා එනකොට පිරිතට හාමුදුරුවෝ වැඩලා ගිලන්පස පූජාව පටන්ගෙන. ගෙදර කලබලකාරී බව තව වැඩි නොකර මාමා මගෙ නංගිත් එක්ක වැඩි සද්ද නැතුව ආගිය විස්තර කතා කරනවා. දෙන්නා අංතිමට හම්බවුනේ දැන් අවුරුද්දකට විතර ඉස්සර නිසා කතාකරගන්න ඕන තරම් දේ ඇති. සුනිල් අයියා ඉස්සරහ පිරිත් කාමරේට නොයා එලියේ සාලේ නිලංත පුතාගෙ යාළුවෙක් එක්ක කතාව. අනික් වැඩිහිටියොයි ගෙදර ඇත්තොයි පිරිත් අහන්න ලෑස්තිවෙමින් හිටිය නිසා මට මාමා එක්ක කතාකරන්න වෙලාවක් ලැබුනේ වරු පිරිත ඉවරවෙලා හාමුදුරුaවෝ අපහු පංසලට වැඩම කරාට පස්සෙයි.

ගෙදර අයයි අමුත්තොයි රස කැවිලි, සෑන්ඩ්විචස් වැනි දේ කමින් තේ බොන වෙලාවේ මම මාමයි සුනිල් අයියයි එහා ගෙදර මිස්ට කුරුප්පුයි කන්තෝරු කාමරේට එක්ක ගියා පොඩි අඩියක් දෙන්න. කමලා වගේම අනික් නෑදෑයොත් පිරිත් දවසේ මත්පැන් පානයට කොයි තරම් විරුද්දවුවත් මම කමලට කියා තිබුනේ මාමත් අයියත් දෙන්නට එකට අපෙ ගෙදරදී බීම වීදුරුවක් දෙන පලවෙනි අවස්තාව නිසා සුලුවෙන් හරි ඒක කෙරෙන්න ඕනෑ බවයි. නමුත් මම එකඟ වුනා හෙට දානේ දවසේ කිසිම මත්පැනක් ගෙදර පාවිච්චි නොවෙන්න වග බලාගන්න.

මිස්ට කුරුප්පු මාමටයි අයියටයි හඳුන්වාදීමෙන් පසු අපි බීර වීදුරුව බැගින් වත්කරගෙන “චියර්ස්” කිව්වා. මිස්ට කුරුප්පුයි අයියයි ගාල්ලෙත් නුවරත් සමානකමුයි වෙනස්කමුයි කතා කරන්න පටන්ගත්තා. නමුත් මගෙ හිතේ තිබුන දේ ගැන කතාකරන්න අවස්තාවක් ලැබුනේ මිස්ට කුරුප්පු නෝනගෙ ආරාදනෙන් ගෙදර යන්න පිටත්වුනාට පස්සෙයි.

“මාමා පාරේ බෝක්කුවේ වැඩ කොහොමද? වැස්ස තවම අඩුවක් නෑ නේද?”

“මොන වැඩද පුතා - තවම ගල් වත් තාර වත් ඇවිත් නෑ. දවසක් දෙකක් කොල්ලෝ කීපදෙනෙක් වැඩ කරාට තව හරියට පටන්ගන්ටවත් බැරිවුනා”

“ඒකෙන් වාහනේකට එහාට මෙහාට යන්න බෑ තවම?”

“මොන පිස්සුද? මාසයක්වත් යයි”

“බස් නම් කෑලි දෙකට කරන එක හොඳයි. ප්රයිවට් කාර් වෑන් එහෙම යන්නේ කොහොමද?”

මාමා මං දිහා බැලුවේ අමුතු විදිහට.

“මේක නිකමට අහන එකක් නෙවෙයි නේද? මොකද්ද පුතාගෙ හිතේ?”

මම කතාවක් නැතුව තව බීර උගුරක් බිව්වා.

“සමහරවිට කිසි පදනමක් නැති දෙයක් වෙන්න පුළුවන්… හැබැයි ඊයේ නැන්දටයි ගුනපාලටයි ලිෆ්ට් එකක් දීපු වෑන් එක ගැන හිතට මොකද්දෝ වගේ….”

“මොන වෑන් එකද? දෙකේ බස් එකේනෙ ආවේ?”

“මාමට තව නැන්දත් එක්ක කතා කරන්නවත් හම්බුනෙ නෑ කියලා මට අමතකවුනා… නැන්දට බස් එක මිස්වෙලා. හැබැයි පහලින් ආපු වෑන් එකක් දෙන්නා දාගෙන ඇවිත්, ආපු බස් එකටත් ඉස්ස්සර කරගෙන ගිහින් තුන්මං හන්දියෙන් බස්සලා. නැන්දා ගමේ බස් එකේම එතන ඉඳන් ආවේ…. මට තියෙන ප්රශ්නේ ඒ වෑන් එක කොහොමද ‘පහලින්’ ආවේ පාර කැඩිලා තියෙද්දී?”

මගෙ පුදුමෙට උත්තරේ ආවේ අයියගෙන්.

“ඒක අර මයිකල් කියන මනුස්සයගෙ වෙන්න ඇති. මං ගාල්ලේ ගිය දවසේ මටත් ලිෆ්ට් එකක් දුන්නා බස් එක පරක්කු වෙනකොට. පිස්සු පොර හැබැයි - ඔන නම් ගාල්ලේ යන්නත් එන්නං කිව්වා!”

අයිය එහෙම කියලා හයියෙන් හිනාවුනා. මාමයි මමයි මූනෙන් මූන බැළුවා.

“මිනිහ කොයි වගේ කෙනෙක් වගේද ලොක්කට පෙනුනේ?”

“මං දන්නෙ නෑ - මං හිතුවේ අප්පච්චිලගෙ වැඩට නිතර ගන්න කෙනෙක් කියලා. අම්මා සෙනසුරාදා මිනිහත් එක්ක නුවර එන බවත් මට කිව්වා. මං දැනගෙනවත් හිටියෙ නෑ අප්පච්චිලා එහෙම ඇරේන්ජ්මන්ට් එකක් දාලා තිබුනා කියලවත්. හැබැයි මම ඉස්සරවෙලාම ඇහුවේ අපෙ ගමේ මයිකල් කියල්ලා මිනිස්සු ඉන්නවා කියලා. ටිකිරි බංඩලයි බිසෝ මැනිකෙලයි නම් කමක් නෑ - හැබැයි මයිකල්?”

අයියා ආයෙත් හිනාවෙන්න පටන්ගත්තා. හිනාව නැවතුනේ මාමගෙයි මගෙයි හිනා නැති මුහුනු දැකලා.

“මොකද අප්සෙට් එක? මං නොදන්න මොකවත් මෙතන තියෙනවද?”

මාමා මං දිහා බලලා ඔළුව නමලා මට අවසර දුන්නා කතාව කියන්න.

“අයියා… ඔය වෑන් එක එලවන මිනිහා අප්පුහාමිගෙ බෑනා කියලා මාමටයි මටයි හිතෙන්නේ. එහෙම හිතෙන්න හේතු කීපයක් තියෙනවා. එකක් - කැඩිලා තිබුන පාරේ වෑන් එක ආවේ කොහොමද කියලා හිතලා බලන්න. පහලින් වාහනයක් එන්න බැරිනම්, කැඩුන පාර නිසා, ඔය ආපු වාහනේ උඩහ පැත්තෙනුයි එන්න ඇත්තේ. නමුත් කැඩුන බෝක්කුවට ඉහලින් තියෙන වාහනයක් හරවාගන්න තියෙන කිට්ටුම තැන උඩහ වංගුව තමා. නමුත් කවුරුත්, ඒ කියන්නේ වංගුවේ කඩවල හිටපු මිනිස්සුත් එක්ක, දැක්කෙ නෑ එහෙම වෑන් එකක්. අපි කියන්නේ ඒක සාමාන්ය වෑන් එකක් නෙවෙයි - ඒක අප්පුහාමිගෙ බෑනා දුවන එකක්!”

“මෙහෙම කියන්න තව හේතු තියෙනවා. දැන් ටික කාලෙකට ඉස්සර මයිකල් කියලා ටුක් ටුක් කාරයෙකුත් මටයි මාමටයි හම්බවුනා. එයාම අපිට කිව්වා එයා අප්පුහාමිගෙ බෑනා කියලා - නගරේ හැදුන කෙනෙක් හැටියට අට්ටික්කා ගහේම ඉන්න එක එපා වෙලා කියලා. මිනිහා ටුක් ටුක් එලෙව්වෙත් ඒ නිසා. හිතුනද දන්නෙ නෑ බෝක්කුව කැඩුන කාලේ ගමේ වාහන එලවන එක නරක නෑ කියලා නිකම්ම ඉන්නවට වඩා…. මම කියන්නේ අයියයි නැන්දයි ගියේ ඇත්ත වාහනවල නෙවෙයි - දෙයියෝ මවපු වාහනවල. වෙන විදිහකට කියනවානම් නැන්දයි අයියයි දෙවිවරු වගේ ජීවත්වෙලා තියෙන්නේ!”

“නෑ නෑ පුතා…. මේක විහිළු කරන්ට වෙලාවක් නෙවෙයි…. මේ වගේ වැඩ වෙන එක අපි නවත්තන්ට බලන්ට ඕනෑ!”

“මාමා මට තේරෙනාවා මේක වැඩිදුර යන්න දෙන්න හොඳ දෙයක් නෙවෙයි. හැබැයි අපිට කරන්න පුළුවන් මොනවද? මයිකල් අපි කියනදේ අහයිද? දැන් කරන්න පුළුවන් ඒවා දැකලා පස්සේ ඊටත් වැඩිය කඩා කප්පල්කාරී වැඩ කරයිද? අපි ඔය කරන දේ වලට විරුද්දයි කියලා මයිකල් ඒක ගනං ගනීද?”

“පුතා කියන එක ඇත්ත. ප්රශ්න ගොඩයි කියලා මට තේරෙනවා. නමුත් මේවා දැන්මම නවත්තගන්ට බැරිනම් අපෙ ගමත් විනාශවෙයි!”

“ඒක ඔහොමද කරන්නේ කියන එකයි ප්රශ්නේ!”

මාමා ටිකක් කල්පනා කරා.

“මං හිතන්නේ එකම ක්රමය අපි තුන්දෙනාම - දෙයියෝ ගැන දන්න අය හැටියට - ගිහින් අප්පුහාමිට කතාකරන්ට වෙනවා…. අප්පුහාමිටයි බෑනටයි පුළුවන් අපෙ ජීවිතයි මුලු ගමමයි විනාශ කරන්ට …. ගමෙන් නවතින එකකුත් නෑ…. ඒකට අපි ඉඩ දෙන්න හොඳනෑ. “අපි ඒ අයට ඇත්ත නැත්ත කියාදීලා මේ කරන දේවල ප්රතිවිපාක පැහැදිලිවම පෙන්නලා දෙන්න ඕන - ඒ අයගෙ මොලේ පාදලා දෙන්න ඕනෑ!” මාමගෙ මේ ‘ගුරුවර කටහඬට’ පස්සේ ඇහුනේ සම්පූර්න වෙනස් කට හඬක්. සිරිනී දුව අංතිම වාක්ය කීපේ අහගෙන ඉඳලා. “කාගෙද ඔය මොලේ පහදන්න හදන්නේ? මගෙද? ඒකට බොහොම කල් යයි! ඔය වගේ වැඩ වලට දැන් වෙලා නෑ - අන්න අම්මා කියනවා ඇවිත් කන්න කියලා. ආවෙ නැත්තං ‘ආයෙ කවදාවත් කන්න නැතිවෙයි’ කියනවා වගේ මට ඇහුනේ…. යං අත්තා…. කෑම ඇරලා…” “හරි දුව…. එහෙනම් අපි අනිද්දා අප්පුහාමී හම්බවෙනවා? මායි පවුලයි ලොක්කයි දානෙට පස්සේ අපෙ ගෙදර ගිහින් දැම්මොත් පුතාටත් රෑ ඉඳලා සඳුදා එන්ට පුළුවන්. හොඳද?” ඒ කියන්නේ හෙට හවස මම ගමේ යනවා මාමගෙ පවුලේ අයත් දාගෙන. හෙට රෑ අපි අට්ටික්කා දෙයියෝ, අප්පුහාමී, හමුවෙලා මයිකල්ගෙ ක්‍රියා පරිපාටි, විශේෂයෙන්ම වාහන එලවීම සම්බංදයෙන්, නවතා දැමීමට කන්නලව් කරනවා. ඒක හරියට නොකෙරුනොත් මුලු රටම උනත් විනාශවෙයි. දැනට කරන්න තියෙන්නේ පිරිතටයි දානෙටයි අයිති රාජකාරියි, අමුත්තෝ පිරුන ගෙදර කෑම බීම නිදාගැනීම වැනි සාමාන්ය ගෙදර දොර කටයුතුයි …….. දානෙන් පස්සේ ඉතිරි වැඩ අනික් අයට බාර දීලා රෑ නවතින්න ගමේ යන්නයි ….. ගමේ යෑම ගැන කමලට කීමයි ….. හරියට කතාකරන්නවත් බැරිවුන නිසා නංගී තව දවස්ක්වත් නවතා ගැනීමයි ..... විතරයි. එහෙම බලනකොට දෙයියෙකුගෙ හිත වෙනස් කරන එක ලොකු ප්රශ්නයක් කියලා හිතෙන්නෙ නෑ.